

ගාසා තීරයේ වසර දෙකක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සැලැස්ම යටතේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ගිවිසුමකට එළඹ ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
හමාස් සංවිධානයේ ඊශ්‍රායල ප්‍රහාරයේ දෙවන සංවත්සරයට දිනකට පසුව, ඊජිප්තුවේ පැවති වක්‍ර සාකච්ඡා මගින් ට්‍රම්ප්ගේ කරුණු 20 යෝජනාවේ මූලික අදියර පිළිබඳවයි එකඟතාවක් ඇති වී ඇත්තේ.මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත්, ඉරානය, යේමනය සහ ලෙබනනය වැනි රටවල් සම්බන්ධ කර ගනිමින් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය වූ මෙම යුද්ධය නැවැත්වීමට පෙර පැවති සියලු ප්‍රයත්නයන්ට වඩා දෙපාර්ශවය සමීප කරනු ඇති.
“අපගේ සාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායලය සහ හමාස් යන දෙපාර්ශවයම අත්සන් තබා ඇති බව නිවේදනය කිරීමට මම ඉතා ආඩම්බර වෙමි,” යනුවෙන් ට්‍රම්ප් Truth Social හි සඳහන් කර තිබෙනවා.”මෙයින් අදහස් වන්නේ සියලුම ප්‍රාණ ඇපකරුවන් ඉතා ඉක්මනින් නිදහස් වන බවත්, ශක්තිමත්, කල් පවතින සහ සදාකාලික සාමයක් කරා යන පළමු පියවර ලෙස ඊශ්‍රායලය ඔවුන්ගේ හමුදා එකඟ වූ සීමාවකට ඉවත් කර ගන්නා බවත්ය,” ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබෙනවා.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින්, හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් ගැන සඳහන් කරමින්, “දෙවියන් වහන්සේගේ උපකාරයෙන් අපි ඔවුන් සියල්ලන්ම ගෙදර ගෙන එන්නෙමු” යනුවෙනුයි පවසා ඇත්තේ.
හමාස් සංවිධානය ද යුද්ධය අවසන් කිරීමට ගිවිසුමකට එළඹ ඇති බව තහවුරු කළ අතර, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත් වීම සහ ප්‍රාණ ඇපකරුවන්-සිරකරුවන් හුවමාරුවක් මෙම ගිවිසුමට ඇතුළත් වන බව පවසා තිබෙනවා.කෙසේ වෙතත්, ඊශ්‍රායලය සටන් විරාමය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන බව සහතික කරන ලෙස හමාස් සංවිධානය ට්‍රම්ප්ට සහ ඇප දෙන රාජ්‍යයන්ට ඉල්ලා සිටියා.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින් හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති කරගත් නව ගිවිසුම පිළිගන්නා බව විදෙස් මාධ්‍ය පවසනවා.ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද සාම සැලැස්මේ පළමු අදියර සඳහා ඊශ්‍රායලය සහ හමාස් යන දෙපාර්ශවයම එකඟතාව පළ කර ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද නිවේදනයෙන් පසුව ගුටරෙස් මෙම ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.
මහලේකම්වරයා සඳහන් කළේ, සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහතික කරන මෙම ගිවිසුම සාදරයෙන් පිළිගන්නා බවයි.ගිවිසුමේ කොන්දේසිවලට දෙපාර්ශවයම පූර්ණ වශයෙන් අනුකූල විය යුතු බවටත්, සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කළ යුතු බවටත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
තවද, මෙම ගිවිසුම සදාකාලික සටන් විරාමයක් සඳහාත්, වාඩිලා ගැනීම අවසන් කිරීම සඳහාත්, පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගනිමින් දෙරට විසඳුමක් කරා යන විශ්වාසනීය දේශපාලන මාවතක් ඇති කිරීම සඳහාත් මෙය මහඟු අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවයි ගුටරෙස් වැඩිදුරටත් පවසා සිටින්නේ.


